ගිලන්පස පූජාව, මුල්තැන් බුද්ධ පුජාව සහ සම්බුධ්ධෝපස්ථානය සිදුකරන මහ සඟරුවනට පිරිනමන දානය සම්බන්ධයෙනි.

ගිලන්පස පූජාව,  මුල්තැන් බුද්ධපුජාව සහ සම්බුධ්ධෝපස්ථානය සිදුකරන මහ සඟරුවනට පිරිනමන දානය සම්බන්ධයෙනි.

ගරුතර ස්වාමින්වහන්ස,

මහත්මයාණෙනි / මහත්මියනි,

ශ්‍රී දංෂ්ටා ධාතු මන්දිරයේ වැඩසිටින්නා වූ අතිඋතුම් ශ්‍රීමත් දන්ත ධාතුන් වහන්සේ, ජීවමාන සම්මා සම්බුදු රජාණන් වහන්සේ හා  සමකොට සැලකේ. ජීවමාන බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්ම භාණ්ඩාගාරික අග්‍ර උපස්ථායක ආනන්ද මහතෙරුන් වහන්සේ විසින් ඉටුකරන ලද උපස්ථාන විධි සහ බුද්ධ පූජාමය සත්කාර, ඒ අයුරින්ම ව්‍යවහාර වර්ෂ 310 වන්නේ දී ලක්දිවට වැඩම වූ දළදා වහන්සේ විෂයෙහි අනුරපුර කිත්සිරිමෙවන් මහරජුගේ පටන් සිරිලක රජ පැමිණි සියලු රජදරුවන්ගේ ද අනුග්‍රහයෙන් නොකඩ කොට පවත්වාගෙන විත් ඇත. පසුකලෙක ලක්දිව කන්ද උඩරට රාජධානිය ගොඩනැගූ පළමුවන විමලධර්මසුරිය සහ ශාසන උන්නතිය ඇති කළා වූ කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමා ආදී රජදරුවන් විසින් ද ශාසන අන්තර්දහනය සිදුවන තාක් කල් පවත්නා පරිද්දෙන් අණ  කොට දෛනික දළදා පූජා  සහ උපස්ථාන විධීන් පැවැත්වීමට නිසිලෙස කටයුතු යොදා තිබේ. බුද්ධ පූජාව ඉතා පවිත්‍රව, ප්‍රනීතව පිළියෙළ කරවා නිසි සේ පවත්වන ලෙස පවත්වන ලෙස එම රජදරුවන් නියමකර, මල්වතු අස්ගිරි උභය මහාවිහාරයන්ට තේවා සිරිත් පැවැත්වීමට ද පවරා දී ඇත.

එමෙන්ම එකී දළදා පූජා චාරිත්‍ර නිසි සේ පැවැත්වීමට අදාල සහායනුග්‍රහය ලබා දීම සඳහා නිලකරුවන් පත් කොට ගම්වර ද ඒ රජදරුවන් පවරා දෙනු ලැබීය. වර්තමානයෙහි එම ගම්වර සහ රාජකාරි ආදියේ සැබෑ තත්වය මදක් වෙනස් බවද අමුතුවෙන් සඳහන් නොකළ යුතු තරම්ය. මෙම රාජකීය නියමයන්ට සහ ඓතිහාසික සම්ප්‍රදායයන්ට අනුව දළදා තේවා පැවැත්වීමේ පූජනීය  කටයුත්ත වසරින් වසර මුර මාරු වෙමින් මල්වතු අස්ගිරි උභය මහා විහාරයේ අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් අඛණ්ඩව පවත්වාගෙන එනු ලැබේ. එම පූජා  චාරිත්‍ර නිසි ලෙස ඉටු කිරීමට ගිහිභාරකාර දියවඩන නිලමේතුමාගේ මෙහෙයීමෙන් කාරියකරවන කෝරාළ ඇතුළු නිලකරුවන්ගේ සහය නොමදව ලබා දීමට ද කටයුතු සම්පාදනය කොට ඇත.

වර්තමානයෙහි පාරිශුද්ධ මුල්තැන් බුද්ධ පූජාව හා ගිලන්පස පූජාව භාර ගැනීම සඳහා බොහෝ පිරිස් සැදැහැ සිතින් ඉදිරිපත් වන නමුත්, වර්ෂයක් තුළ පහසුකම් සලසා දිය හැක්කේ ඉතා සීමිත පිරිසකට පමණි.

එසේ භාග්‍ය ලබන සැදැහැවතුන්ට නියමිත දිනයට සති තුනකට පෙරාතුව උදේ හෝ දහවල් මුල්තැන් බුද්ධ පූජාව සහ සවස ගිලන්පස බුද්ධ පූජාව ආදියට නියමිත දිනය හා වේලාව වෙන් කොට අදාල පින්වතුන් වෙත දැනුම්දීමට කාරියකරවන කෝරාළ විසින් කටයුතු කරනු ලැබේ.

ඉන්පසු දින දහයකට පෙර කාරියකරවන කෝරාළ වෙත දැනුම්දීමක් නොකරන අවස්ථාවන්හි, අදාල මුල්තැන් බුද්ධ පූජාව වෙනත් පින්වතුන්ට ලබාදීමට හෝ ශ්‍රී දළදා මාලිගාවේ මුල්තැන් බුද්ධපූජා අරමුදලින් එම සියලු කටයුතු ඉටුකිරීමට ද අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබේ.

එසේම තේවාව කටයුතුවල නිරතවන මහාසංඝරත්නය වෙනුවෙන් සාංඝික දාන වස්තුව නියමිත සනීපාරක්ෂක පිළිවෙත් අනුගමනය කොට පිළියෙල කර උන්වහන්සේලා වෙත පිළිගැන්වීමටද ඔබවෙත අවස්ථාව සලසා දී තිබේ.

දායකත්වය ලබන සැදැහැවතුන් විසින් ගිලන්පස සම්බුද්ධ පූජාව සහ මුළුතැන් පූජාව සඳහා අවශ්‍ය කරන පූජාද්‍රව්‍ය (උපකරණ) සපයාදීම හෝ ඒ සඳහා වන බරපැන දැරීම හෝ සිදුකල යුතුය.

මුල්තැන්ගේ පිරිසක් යොදවා සම්බුද්ධ පූජාව සකසා ගැනීමටත්, උඩමාලේ සහ පල්ලේමාලේ රාජකාරිකරුවන් ලවා මෙම පූජා කටයුතු සිදුකර ගැනීමටත්, දාන ශාලාව නඩත්තු කරන පිරිසකගේ සහය ලබාගැනීම සඳහාත්, නඩත්තු ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහාත් යනුවෙන් විවිධාකාරවූ අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීම සඳහා එක් දායක කණ්ඩායමකින් රු. 20,000/= ක අමතර මුදලක් බරපැන සේ ලබාගැනීමට සිදුවී ඇත. එය කාලීන අවශ්‍යතාවයක් බවද වෙසෙසින් සිහිපත් කෙරේ.

සම්බුද්ධ පූජාව භාරගත් යම් සැදැහැවත් පිරිසකට එම පූජා සහ දානෝපකරණ සපයා දීමට අපහසුතාවයක් වේනම් එම ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා සහ අනෙකුත් අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීම සඳහාත් කාලීන අවශ්‍යතාවයට අනුව රු.30,000/- ක දායක මුදලක් බරපැන සේ ගෙවීමට සිදු වේ. (ඒ අනුව ඉහත කී මුදලද සමග ලබාදිය යුතු සියළු මුදල රු.50,000/- කි.)

ඒ අනුව අදාල දායකත්ව මුදල් මහනුවර ලංකා බැංකුවේ, දෙවන නගර ශාඛාවේ, ගිණුම් අංක 0001279019 දරණ ශ්‍රී දළදා මාලිගාව – මුල්තැන් බුද්ධ පූජා අරමුදලට බැර කිරීමට හෝ කාරිය කෝරාළ වෙත භාරදී රිසිට්පතක් ලබාගන්නා මෙන් කාරුණිකව දන්වා සිටිමි.

මෙම පූජාවන් සහ දානමය වත් පිළිවෙත් පිළිබඳව වැඩිදුර කරුණු දැනගැනීමට ඔබට අවශ්‍ය නම් දුරකථන අංක 071-6861069 ට අමතන මෙන් ද කාරුණිකව ඉල්ලා සිටිමි.